Interviews and Opinions

‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කෘතිය පිළිබඳ කතාබහක්

පහත දැක්වෙන්නේ, සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ විසින් පරිවර්තනය කර සංස්කරණය කළ ‘තුටින් පිරී ගිය එක් මොහොතක්: ජලාල් අද්-දින් මුහම්මද් රූමි ගේ තෝරාගත් කවි’ කෘතිය පිළිබඳව පරාක්ටම ඒකනායක සසංක පෙරේරා සමග කළ සම්මුඛ සාකච්ඡාවයි.

පරාක්‍රම ඒකනායක: ජලාල් අද්-දින් මුහම්මද් රූමි ඉස්ලාමීය කවියා සිංහල පාඨකයින් කියවන මුල් අවස්ථාවේ මේ කවියා පිළිබඳ කෙටි හැදින්වීමක් කරන්න පුලුවන්ද?

සසංක පෙරේරා: රූමි ව අපිට සලකන්න පුළුවන් මූලික වශයෙන් පර්සියානු බසින් කවි ලිව්ව, 13 වන සියවසේ ජීවත් වෙච්ච කවියෙක් හැටියට. ඔහුගේ ඇතැම් කවි තුර්කි හා අන් තත්කාලීන භාෂා කීපයකිනුත් වඩාත් අඩුවෙන් ලියවිලා තියෙනවා. ඔහු ඉස්ලාමීය විශ්වාස ව්‍යුහයේ සුෆී ප්‍රභේදයට අයත් ආගමික නායකයෙකු, දේවධර්මවේදියෙකු, ගුරුවරයෙකු, ශාස්ත්‍රඥයෙකු සහ සාහිත්‍යධරයෙකු ද වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. රූමි උපත ලැබුවේ වර්ෂ 1207 සැප්තැම්බර් 30 වනදා වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පිහිටි බල්ඛ් නම් කුඩා නගරයේ. ඔහු 1273 වසරේ දෙසැම්බර් 17 වනදා 66 වන වියේදී වර්තමාන තුර්කියේ පිහිටි කෝන්යා නගරයේ දී මිය ගියා. රූමි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමන් ගේ ගම ප්‍රදේශය හැර දමා, පර්සියාවට — නැතහොත් තත්කාලීන ඉරානය හා තුර්කිය දෙසට සංක්‍රමණය වීමට බලපාන්නට ඇති හේතු දෙකක් ඉතිහාසඥයන් ගෙනහැර දක්වනවා.

ඉන් එකක් තමයි, ඔහුගේ පියා වූ බහා අල්-දින් වලාද් එම ප්‍රදේශයේ පාලකයා සමග ඇති කර ගත් ආරාවුලක ප්‍රතිඵලයක් නිසා ය කියන එක. ඊළඟ අර්ථකතනය තමයි, ඒ වන විට චීනයේ ඉදලා බටහිර පැත්තට ජෙන්ගිස් ඛාන්ගේ නායකත්වය යටතේ සිය හමුදා මෙහෙයවමින් සිටි මොන්ගෝලියානු ආක්‍රමණිකයන්ගෙන් මිදීම සඳහාය කියන එක.

මේ සංක්‍රමණයෙන් පස්සේ රූමි ජීවත් වෙච්ච ප්‍රදේශය ඔහුගේ පසු කාලීන කාව්‍යකරණයට හුඟාක් වැදගත් වුනා. ඔහු තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක ජීවත් වුන කෝන්යා නගරය 13 වන සියවසේ දී නොයෙකුත් සංස්කෘති එකිනෙකට මුණ ගැසුණු තැනක්. කෝන්යාව පිහිටා තිබුණේ යුරෝපය සහ ආසියාව අතර සංස්කෘතික හා වෙළෙඳ සබඳකම්වලට අවකාශ විවර කළ ‘සේද මාර්ගයේ’ බටහිර අන්තයේ. මේ ප්‍රදේශය විචාරකයන් හඳුන්වන්නේ ක්‍රිස්තියානි, ඉස්ලාමීය, හින්දු සහ බෞද්ධ සංස්කෘතික ලෝක එකට යා කළ මංසලක් හැටියට. 13 වන සියවසේ කෝන්යාව අවම වශයෙන් ත්‍රෛභාෂා නගරයක්. තුර්කි බස එහි මූලික පරිස්ථානීය භාෂාවයි. පර්සියානු බස සාහිත්‍යයේ භාෂාව වුනා. ආගමික බස, නැත්නම් කුරාණයේ සහ ආගමික වත්පිළිවෙත්වල භාෂාව වුනේ අරාබි බස යි. මේ ස්ථානය වැදගත් වන්නේ, ඒ නගරය හා සම්බන්ධ මේ අනේක සංස්කෘතික හා භාෂාමය බලපෑම් සහ සාම්ප්‍රදා රූමි සිය කාව්‍යකරණයට උකහා ගෙන, ඒවා එක් කාව්‍යමය කතිකාවක් බවට පත් කළ නිසා.

වර්තමානයේ දී රූමි ප්‍රසිද්ධ වී සිටින්නේ කවියෙකු ලෙස වුනත් ඔහු මූලික වශයෙන් පුහුණුව ලැබුවේ දේවධර්මවේදියෙකු වෙන්න. මුල් කාලයේ ඔහුගේ ජීවිතය ඔහු වැනි ආගමික නායකයෙකුගෙන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ජීවන ශෛලියට සමාන වුනා. ඔහුගේ ආගමික පුහුණුව, දැනුම සහ විශේෂයෙන් සුෆී ඇදහිලි සහ විශ්වාස ඔහුගේ පසුකාලීන කාව්‍යකරණයට පදනම සැපයුවා. රූමි කාව්‍යකරණයට පිවිසුනේ අහම්බෙන්. ඒ ශම්ස් අල්-දින්, නැතිනම් ටබ්රිස් හි ශම්ස් කියන යෞගික සුෆී සන්නාසිවරයා මුණ ගැසීමත් සමග යි. ශම්ස් අල්-දින් තැනින් තැන ඇවිද ගිය ‘ඩර්විශ්’ වශයෙන් හැඳින් වූ සුෆී නිකායික සන්නාසියෙක්. දැනට ඇති තොරතුරුවලට අනුව, එම මුණගැසීම සිදු වූයේ වර්ෂ 1244 නොවැම්බර් මස 30 වන දා කෝන්යාවෙහි දී. මෙම මුණගැසීම පිළිබඳ නොයෙකුත් ප්‍රවාද රූමිගේ ජීවිතය හා සම්බන්ධ ලේඛනවල දැකගන්න පුළුවන්.

මේ සියලුම ප්‍රවාදවලින් පෙන්නුම් කරන ප්‍රධාන කාරණයක් තමයි, පොතපතින් ලබාගත හැකි විධිමත් දැනුමේ සීමාව ශම්ස් විසින් රූමිට පෙන්වලා දුන්න බව. රූමිගේ ජීවිතයේ මේ කාලය සහ අන් තොරතුරු ‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කෘතිය සඳහා මම ලිව්ව ‘හැඳින්වීමේ’ විස්තර කරලා තියෙනවා. මෙතන මම දක්වන බොහෝ අදහස් එතනින් ලබාගත්ත ඒවා.

පරාක්‍රම ඒකනායක: ඔහුගේ කවිවල තියන සුවිශේෂී ලක්ෂණ විදිහට හදුනා ගන්න පුලුවන් මොනව ද?

සසංක පෙරේරා: මම හිතන්නේ ප්‍රධාන ලක්ෂණ කීපයක් ම තියෙනවා. එකක් තමයි ඔහු අනේක තේමා ගණනාවක් ගැන ලිවීම. ඒ අතර ස්වභාව ධර්මය සහ එහි අගය, ජීවිතය, මරණය, ශෝකය, දුක සහ ප්‍රේමය වගේ තේමා පසුවෙන් ම හඳුනාගන්න පුළුවන්. මේ බොහෝ දුරට විශ්වීය ලෙස පෙනෙන තේමා ඔහුගේ කවිවල විශේෂ ලක්ෂණයක්. නමුත් මෙහිදී ඔහු ප්‍රේමය වශයෙන් බොහෝ විට හඳුන්වන්නේ දෙවියන් වහන්සේ මිනිසා වෙත දක්වන ප්‍රේමය සහ මිනිසුන් දෙවියන් වෙත දැක්විය යුතු ප්‍රේමයයි.

අනෙක් කාරණය තමයි, මේ තේමාවලට රූමිගේ කාලයේ සහ වර්තමානයේදී වුනත්, කවියාගේ ආගමික නැඹුරුව අතික්‍රමණය කර, තමන්ගේ සංස්කෘතික ලෝකවලට සාපේක්ෂව නොයෙකුත් දෙනාට රසවිඳීමට සහ අර්ථවත් කරගැනීමට හැකියාවක් තිබීම. අනෙක් කාරණය තමයි, මේ කවිවල දී යොදාගෙන තිබූ සාපේක්ෂ වශයෙන් සරල බස සහ පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් වුන සංකේත භාවිතය.

පරාක්‍රම ඒකනායක: ‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කාව්‍ය කෘතියේ අන්තර් සැකසුම ගැන කතා කලොත් මොන වගේ ද?

සසංක පෙරේරා: මේ කෘතියෙන් ඉන්දු ගමගේ සහ මම රූමිගේ කවි 150 ක සිංහල පරිවර්තන ඉදිරිපත් කරලා තියෙනවා. සමහර කවි බොහොම කෙටියි. අනික් ඒවා වඩාත් දිගයි. මේ සියලුම කවි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පුළුල් තේමා හතරක් යටතේ. රූමි පිලිබඳ ගැඹුරු කතාබහක් ලංකාවේ සිදුවෙලා නැති නිසා, ඔහුගේ කවි සහ කාව්‍යකරණය තේරුම් ගන්න යම් සීමිත අත්වැලක් හැටියට මම ටිකක් දිග ‘හැඳින්වීමක්’ මේ පොතට ඇතුලත් කරලා තියෙනවා. ඒ, කරුණු කීපයක් ආමන්ත්‍රණය කරන්න. ඒ තමයි, රූමිගේ ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කරන්න; ඔහු කාව්‍යකරණයට පිවිසි ආකාරය විස්තර කරන්න; රූමිගේ කාව්‍යකරණය තුළ ඉස්ලාමීය සහ සුෆී දහමේ බලපෑම තේරුම් ගන්න උත්සාහ කරන්න; රූමිගේ දීර්ඝ කාලීන සාහිත්‍යමය බලපෑම කෙටියෙන් සලකාබලන්න — විශේෂයෙන් දකුණු ආසියානු කලාපය තුල; සහ අවසන් වශයෙන්, රූමිගේ කවි හා බැඳී තියෙන පරිවර්තනයේ දේශපාලනය තේරුම් ගැනීමේ උත්සාහයක් සකසන්න.

මීට අමතරව, මේ කවි එකතුවේ එන රූමිගේ කවිවල හා සමස්තයක් වශයෙන් ඔහුගේ කාව්‍යකරණයේ කේන්ද්‍රීය තේමා ගවේෂණය කිරීමේ මූලික උත්සාහයක් ගොඩනගන්න, රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අචාර්ය දර්ශන ලියනගේ විසින් ‘පසුවදනක්’ සපයල තියෙනවා. මෙහෙම බැලුවම, සමස්තයක් වශයෙන් මමත් ඉන්දුත් මේ උත්සාහය තේරුම් ගන්නේ රූමි ගේ කාව්‍යකරණය ගැන මෙච්චර පමාවෙලා හරි ලංකාවේ කතිකාවක් අරම්බකරන්න කරන්න ඉදිරපත් කර ඇති ආරාධනයක් හැටියට.

පරාක්‍රම ඒකනායක: කවි එකතු තුළ වියෝව, ඥානය, ප්‍රේමය, දිවිසැරිය වශයෙන් කොටස් හතරකින් සමන්විතයි. එහි විශේෂත්වය මොකක් ද?

සසංක පෙරේරා: මුලින්ම මේ කවි එකතුව සංස්කරණය කරගෙන යනකොට මීට වඩා කොටස් ගණනාවක් යටතේ තමයි මේ කවි අපි එකතු කරලා තිබුනේ. ඒ එකතු කිරීම වඩාත් නිවැරදියි කියලයි මම අදත් හිතන්නේ. නමුත් අපිට පස්සේ හිතුනා, අපේ ව්‍යායාමය එච්චර සංකීර්ණ නොකර, පුළුල් කොටස් හතරක් යටතේ කවි ටික ඉදිරිපත් කරන එක වඩා සාර්ථකයි කියලා. විශේෂයන් මේක කෙටි කෘතියක් සහ සීමිත උත්සාහයක් කියන කාරණා සැලකිල්ලට ගන්න කොට. නමුත් ඉන්දුවත් මමවත් කියන්නේ නෑ මේ බෙදීම සීයට සීයක් නිවැරදියි කියලා. ඇතැම් කොටස්වල තියෙන කවි තේමාමය වශයෙන් යම් දුරකට තවත් කොටස් සමග අතිච්ඡාදනය වෙන බව අපි දන්නවා. ඊට එක හේතුවක් තමයි, රූමි ගේ කවිවලින් සමහර වෙලාවට තේමා ගණනාවක් එක විට ආමන්ත්‍රණය කරන එක.

කොහොමටත් බොහෝ විචාරකයින් පෙන්වල දීල තියෙන විදියට, රූමි ගේ කවි තේමාමය වශයෙන් හුගාක් ව්‍යාකූලයි. ඒවායේ මුල් කාලීන එකතු දිහා බලන කොට. ඊට එක හේතුවක් තමයි රූමි මේවා නොයෙකුත් වෙලාවල්වල, නොයෙකුත් තත්ත්ව තුළ ලියපු එක සහ කවියෙන් කවියට සමහර වෙලාවට සංකේත භාවිතය එකිනෙකට වෙනස් අර්ථවලින් යොදාගෙන තියෙන එක. ඒ ගැන මම මගේ ‘හැඳින්වීමෙනුත්’ විස්තර කරලා තියෙනවා. මේ අනුව, රූමිගේ ජීවිත කාලයේත්, ඊට පසුවත් ඔහුගේ කවි සංවිධානය කිරීම මූලික වශයෙන් සංස්කාරකවරුන් සහ පරිවර්තකයින් කරපු වැඩක් මිසක් රූමි කළ දෙයක් නෙවේ.

මේ පසුකාලීන සංස්කාරකවරු එහෙම කළේ තේමාමය පිළිවෙලක් නැතිව ලියූ කවි තේමාමය වශයෙන් එක්තැන් කිරීමෙන් සහ මාතෘකා නැති කවිවලට මාතෘකා ලබා දීම මගින්. මේ සිංහල එකතුවේ අපි කළේත් මේ වගේ දෙයක්. මේ සංවිධානය අපි සැලකුවේ වඩාත් තත්කාලීන ව්‍යුහගත කිරීමේ මෙවලමක් හැටියට විතරයි.

පරාක්‍රම ඒකනායක: ජලාල් අද්-දින් මුහම්මද් රූමි කවියාගේ කවි සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ ඔබ සහ ඉන්දු ගමගේ විසින්. ඒ පිළිබඳව සදහන් කලොත් …

සසංක පෙරේරා: ඉන්දු සහ මම වෘත්තීය පසුබිම් දෙකක් නියෝජනය කරන විශ්වවිද්‍යාල ගුරුවරු. ඉන්දු ගමගේ ඉංග්‍රීසි භාෂා පුහුණුව සහ මම සමාජවිද්‍යාව කියන පුළුල් විෂය ක්ෂේත්‍ර දෙක තමයි නියෝජනය කරන්නේ. නමුත්, එකිනෙකට වෙනස් වෙච්ච මේ වෘත්තීය පසුබිම් දෙකට අමතරව, අප සතුව පොදු කාරණා කීපයක් තියෙනවා මේ පරිවර්තන කාර්යයේදී වැදගත් වෙච්ච.

එකක් තමයි, අපි දෙනාගේම සිංහල හා ඉංග්‍රීසි භාෂා නිපුණත්වය බෙහෙවින් පුළුල් හා සමාන වීම. අනෙක් කාරණය තමයි, පාඨකයින් හැටියට කවීත්වය පිළිබඳ අපේ තිබිච්ච දැඩි උනන්දුව හා ඇල්ම. මම හිතන්නේ පරිවර්තන කාර්යයේ දී මේ සමානතා වගේම අසමානතා කියන දෙකම අපව මෙහෙය වූවා.

ඉන්දු ගමගේ ගේ විධිමත් භාෂා පුහුණුව නිසාම, ඇය පෙළ හා වචන පිළිබඳ බොහෝ උනන්දුවක් දැක්වූවා. ඒ වගේම ඇයගේ පරිවර්තිත කවි තුළ අරුත් සම්පාදනය සනිටුහන් කළේත් මේ මූලික කරුණු දෙක ඔස්සේ.

මීට සාපේක්ෂව, විධිමත් භාෂා පසුබිමක් නැති මගේ මූලික උනන්දුව වුනේ, කවියේ හෝ පෙළවල මූලික අර්ථය මිස වදන් අනුපිළිවෙල හෝ ඒ වගේ අනෙකුත් වාග් විද්‍යාත්මක හා ව්‍යූහාත්මක කරුණු නොවේ. ඒ වගේම, පරිවර්තනයේ දී සමහර සිංහල පද සෙසු සමාන පද නො සලකා හැර තෝරා ගැනීම පිළිබඳව අපි දෙන්නා තුළ තිබුණේ එකිනෙකාට වෙනස් වූ අදහස්. මේ සියල්ලම පරිවර්තනයේදී බලපෑම් කළ බව අපි මුල ඉදන්ම දැනගෙන හිටියා. ඒක අපිට ගැටළුවක් වුනේ නෑ.

අනෙක, මේක මූලික වශයෙන් කෝවිඩ් වසන්ගත කාලය තුළ ඇතිවෙච්ච සීමා තුළ, අපි රටවල් දෙකක, නගර දෙකක ඉන්න කොට කරපු වැඩක්. මම වැඩි වශයෙන් මේ කාලයේ හිටියේ නව දිල්ලියේ. ඉන්දු හිටියේ මාතර. පරිවර්තන ක්‍රියාවලියේදී අපි මොන වෙලාවකවත් මුනගැහුනේ නෑ. සියලු ගනු දෙනු සිද්ද වුනේ විද්‍යුත් තැපෑලෙන්, නැත්නම් කෙටි පණිවිඩ වගේ ක්‍රම ඔස්සේ. මම හිතන්නේ මේ ව්‍යාපෘතියේ තියෙනවා මේ වගේ සීමා එක්ක, නැත්තං එකිනෙකාගෙන් බොහෝ ඈත තැන්වල ජීවත්වෙන අයට මේ වගේ කටයුතු සාර්ථකව කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන යම් යම් විධික්‍රමික අදහස්, මෙවලම්. මේවා දැනට තියෙන්නේ යම් සේයාවක් හැටියට විතරයි. මේ ගැන පස්සේ වඩාත් පරිස්සමින් හිතා බලන්න ඕනේ.

පරාක්‍රම ඒකනායක: සිංහල සාහිත්‍යය සමාජය විසින් ‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කාව්‍ය කෘතිය පරිශීලනය කිරීමේ වැදගත් කම ගැන ඔබේ අදහස කියන්න පුලුවන් ද ?

සසංක පෙරේරා: රූමි කියන්නේ ඔහු ජීවත් වෙච්ච 13 වන සියවසේ ඉදන් අද වෙන තුරුම නොයෙකුත් විදියට ගෝලීය සම්භාවනාවට පාත්‍ර වෙච්ච කවියෙක්. ඔහුගේ කවි ලොව බොහෝ භාෂාවන්ට මීට පෙර පරිවර්තනය කරලා තියෙනවා. මුලින්ම රූමිගේ කවි යුරෝපීය භාෂාවන්ට පරිවර්තනය කළේ 18 වන සියවසේ අන්තිම යුගයේ. ඒ මූලික වශයෙන් ප්‍රංශ හා ජර්මන් භාෂාවලට. ඊට පස්සේ ඉංග්‍රීසි පරිවර්තන පළ වුනේ 19 වන සියවස අග භාගයේ දී. 19 වන සියවසේ විතර ඉදල උර්දු බසින් දකුණු ආසියාවේ රූමි ගැන කතාබහක් සිදුවෙලා තියෙනවා. නමුත් අපේ රටේ මේ වගේ කිසිම දෙයක් සිදුවෙලා නැහැ. ගෝලීය කවියෝ සහ නිර්මාණ සාහිත්‍යකරුවන් ගැන තත්කාලීනව නොදැන සිටීම මම දකින්නේ බුද්ධිමය හා සාහිත්‍යමය මන්දපෝෂණයක් හැටියට.

මේ තත්ත්ව තුළ පුලවන් හැම වෙලාවේම, රූමි විතරක් නෙවේ, අනෙකුත් ගෝලීය වශයෙන් නමක් දිනාගෙන ඉන්න කවියන් සහ අන් සාහිත්‍යකරුවන්ගේ පොත් පත් සිංහලෙන් කියවීම මම දකින්නේ අතිශයින් වැදගත් දෙයක් හැටියට. එහෙම දේවල් පුළුල් වශයෙන් සිද්ද වෙන්නේ නැතිනම් භාෂාවට වගේම සාහිත්‍යයටත් දියුණු වෙන්න අමාරුයි.

පරාක්‍රම ඒකනායක: අවසාන වශයෙන්, ලාංකීය පරිවර්තන සාහිත්‍යයට එකතු වෙන සහ එකතු වුන පරිවර්තන කාව්‍ය ගැන ඔබට යම් අදහසක් තියනව ද?

සසංක පෙරේරා: මට සීමිත අදහසක් තියෙනවා. අපි හැමෝම දන්නවා මේ වෙනකොට, පරිවර්තන සෑහෙන්න සිංහලෙන් පලවෙලා තියෙනවා කියලා. ඒ මූලික වශයෙන් ඉංග්‍රීසියෙන් සිංහලට.

නමුත් මගේ විශ්වාසය මේ පරිවර්තන බොහෝමයක් එතරම් පරිස්සමින් නොකළ ඒවා බවයි. ඒ නිගමනයට මම ආවේ, වෙළෙඳපොලේ තියන පොත් පත් ගණනාවක් කියෙව්වට පස්සේ. මට හිතුන මේ ඇතැම් දේවල් බොහෝ විට ගූගල් පර්වර්තන මෙවලම යොදාගෙන යම් සුළු සංස්කරණ එක්ක කරපු දේවල් කියල — ඒවායේ තියෙන බරපතල වැරදි දැක්කම.

මේ එක්කම දියුණු පරිවර්තනත් තියෙනවා. ඒවා කියවන කොට ඉතාමත් පැහැදිලියි ඒ පරිවර්තකයින්ට අවශ්‍ය භාෂා පුහුණුව සහ අත්දැකීම තියෙන බව. නමුත් ක්ෂේත්‍රයක් හැටියට මගේ විස්වාසය තමයි, පරිවර්තනකරණ පුහුණුව, භාෂා පුහුණුව, පළකිරීමේ අවකාශ සහ අවශ්‍ය මූල්‍ය සම්පාදනය අතින් මීට වඩා අපේ රට හුගාක් දියුණු වෙන්න ඕනේ කියලා. අපේ රටේ දැනට බොහෝ පරිවර්තන වෙන්නේ ඉංග්‍රීසියෙන් සිංහලට හෝ දෙමළට. ඉන්දුයි මමයි රූමි පර්වර්තනය කළෙත් ඉංග්‍රීසියෙන් සිංහලට. ඒ අපිට අවශ්‍ය පාසි නැතිනම් පර්සියන් භාෂා හැකියාව නොහිබුන නිසා. නමුත් සිදුවෙන්න ඕනේ, හැකි හැම වෙලාවේම, කෘතියක් මුල් බසින් වෙනත් බසකට යමක් පරිවර්තනය කිරීමයි. එහෙම කරන්න පුලවන් නම්, ඒ ක්‍රියාවලියේදී තවත් බසකින් පෙරී එනකොට නැතිවෙන්න පුලුවන් අරුත් අවම කරගන්න පුල්වන් බවයි මගේ විශ්වාසය.

අපේ උත්සාහයේ ඇති පරිවර්තනමය ගැටළු ගැනත් මම මගේ ‘හැන්දින්වෙමේ’දී පැහැදිලි කරලා තියෙනවා. අපේ රටේ අවම වශයෙන් කේන්ද්‍රීය සිංහල පොත්පත් දෙමළට හෝ එලෙසින්ම වැදගත් දෙමල කෘති සිංහලය ට පරිවර්තනය කිරීම තාම සිදුවිය යුතු ආකාරයෙන් හෝ සිදුවිය යුතු ප්‍රමාණයෙන් සිද්ද වෙන්නේ නෑ. ඒක විශාල අවාසනාවක්.

පරාක්‍රම ඒකනායක: විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන ඔබට කාව්‍ය ශ්‍රාස්ත්‍රය පිළිබඳ ලාංකීය විශ්වවිද්‍යාල තුළ තිබෙන අධ්‍යයනයන් පිළිබඳව අදහසක් තියනව ද?

සසංක පෙරේරා: කාව්‍ය ශාස්ත්‍රය අපේ විශ්වවිද්‍යාලවල උගන්වන්නේ කොහොමද සහ ඒ ගැන මොන වගේ පර්යේෂණ ද කෙරෙන්නේ කියල මම හොයල බලල නෑ. මම කලින් කිව්වා වගේ, මගේ විධිමත් ශාස්ත්‍රීය කේෂ්ත්‍රය මෙය නෙවේ. නමුත් හැකි හැම වෙලාවකම මම සිංහලෙන් පලවෙන කවි කියවනවා. ලංකාවේ ඉංග්‍රීසියෙන් ලියවෙන කවිත් මම යම් දුරකට කියවනවා.

නමුත් මම පසුගිය දශකයක පමණ කාලයක ඉදන් වැඩිපුරම කියවලා තියෙන්නේ, ගෝලීය වශයෙන් ඉංග්‍රීසියෙන් හෝ ඉංගිරිසි පර්වර්තන වශයෙන් පලවෙලා තියෙන කවීන්ගේ පොතපත. මේ අතරින් වඩාත් මට උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ පාක්සිතානයේ ෆයිස් අහ්මඩ් ෆයිස්, ඉන්දියාවේ ගුල්සාර්, පෘතුගාලයේ ෆර්නැන්ඩෝ පෙසෝආ, චිලී රටේ පැබ්ලෝ නෙරුඩා වගේ අයගේ කවි සම්බන්ධයෙන්. මේ කවීන් ගේ කවි සිංහලෙන් කියවන්න පුළුවන් නම්, ඒක රටටත් සිංහල භාෂාවටත් හොඳයි ….

 

(උපුටා ගනු ලැබුවේ පරාක්‍රම ඒකනායක ගේ ෆේස්බුක් පිටුවෙන්ය: https://m.facebook.com/story.php?story_fbid=517004303759010&id=100063483337662)

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *